මිනිස්සු ආදරෙන් පිස්සු වැටුණහම අන්ධ වෙනවා, ඒක ඇත්ත.ඒ වගේම කවියො වෙනවා, ඒකත් ඇත්ත. . හඳට,තරුවට,රෑ අහසට,මල්වලට එකී නොකී මෙකී සුමට සෞම්‍ය ආදරණීය දේවල් වලට තමන්ගෙ ආදරේ උපමා කරලා කවි ගොතනවා. .
පණ ඇරලා ආදරේ කරද්දි ඒ ආදරේ තමන්ව දාලාගියොත් මොකද වෙන්නෙ ? සමහරු පුලුවන් තරම් ඒ ආදරේට අපහාස කරලා,ලැජ්ජ කරලා කටවචනෙන්ම කියනවනං ආදරේ බල්ලට දානවා.හැබැයි ඇත්තටම ආදරේ කරපු හිතකට එහෙම හිතන්නවත් බැහැ.එහෙම එවුන් හූල්ලනවා,අඬනවා,වැලපෙනවා. . උන්ගෙ ජීවිත එක තැන නතර වෙනවා.
අපිට බැහැ අපි හදවතින්ම කරපු ආදරේ අමතක කරන්න.මැරිලා ඉපදෙන්නෙ නැහැනෙ එහෙම වෙන්න තරම්.. ඒත් අපිට පුලුවන් ඒ ආදරේ නහයට දාන්න !
මොකද්ද මේ නහයෙ කතාව ?
මේ ලියවිල්ල කියවන ඔබට නහයක් ඇතිනෙ.තප්පරේකට කියවීම නවත්තලා ඔබේ නහය පේනවද බලන්න.
බැලුවොත් පේනවානේද ?
දැන් ඔබට විනාඩි කිහිපයක් යනකං නහය පෙනේවි.නමුත් අපි සාමාන්‍ය එදිනෙදා වැඩකටයුතු කරගෙන යද්දි නහය පේනවද ? අපිට පේන්නෙ නැහැ.ඇයි දන්නවද ? මොළය දන්නවා නහයෙන් තමයි හුස්ම අරන් අපි ජීවත් වෙන්නෙ කියලා.ඒත් එක්කම මොළය දන්නවා ඇහැට අපි පෙනෙන එක වැදගත් දෙයක් නෙවෙයි කියලත්..ඉතින් මොළය විසින් හිතාමතාම ඇහැට සංඥාවක් දීලා තියෙන්නෙ ‘ නහය පෙනුනත් නොපෙනුනා වගෙ ඉන්න ‘කියලා.. ඉතින් සාමාන්‍ය වෙලාවට අපිට නහය පේන්නැහැ.ඇහැ ඒක ගනන් ගන්නෙත් නැහැ.. ඊට එහා ඔබ දැකිය යුතු ලෝකයක් තියනවා.ඒ දිහා බලන්න පටන් ගන්න.
මිනිස්සු ජීවිතේ ඇතුළෙ ආදරේ දිනලා හරි පැරදිලා හරි තියෙන්නම ඕන.ඒත් ඒ ආදරේ නැතුව ජීවත් වෙන්න බැහැ කියන තැන අපි ඉන්න ඕන නෑ.. තව මොහොතකින් යළිත් ඔබට ඔබේ නහය පෙනීම නැතිවෙලා යයි..මොහොතකට පෙනුනා වගේ ඉඳහිට වෙලාවක අතීතයට ගිහින් එන්න.නවතින්න උත්සාහ කරන්න බැහැ ඔබටවත්,මටවත්.
ඉතින් ඔබේ ආදරේ ඔබෙන් ගිලිහුණානම් ඒ ආදරේ නහයට දාන්න..ඒ මතක ඔබෙ හිත්මානයේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ වගේ දැනෙන්න ගනීවි 🖤
Nishara Samadhi